Nishantha Perera
මාධ්‍යවේදී, රාජ්‍ය සම්මානලාභී ලේඛක, ඉන්දියානු උපාධිධාරී, ජ්‍යෝතිෂ්‍ය ශිරෝමණී, දේශාභිමානී

නිශාන්ත පෙරේරා මහතා ඉදිරිපත් කරයි.

  64521 Views

 

  මේෂ ලග්නය

2015 වසරේ මේෂ ලග්න හිමියන්ගේ ලග්නාධිපති බලවත්වත් යෝගකාරක බ්‍රහස්පති උච්ච බලයෙන්, හංස නමැති පංච මහා පුරුෂ යෝගයකින් මේ අලුත් අවුරුද්ද උදා වී තිබෙනවා. මුල්‍ය ශක්තියට ඉතාමත් ශුභයි. කරගෙන ආ කටයුතු වලත්, කිරීමට බලාපොරොත්තු වන කටයුතු වලත් සාර්ථකත්වය බලාපොරොත්තු විය හැකියි. දේශයෙන්, ජාතියෙන්, ආගමෙන් පිටස්තර අයගෙන් සිදුවන ගනුදෙනු වලින් නම් වැඩිපුර වාසි සිදු වේ. එමෙන්ම තමන්ගෙන්ම උදව් උපකාර ගත් අයගෙන් කරදර බාධක සිදු විය හැකි නිසා බුද්ධිමත්ව කටයුතු කල යුතුයි. පදිංචි ස්ථාන ආශ්‍රිතව වෙනස් වීම් සිදු විය හැකියි. බොහෝ විට නව නිවාස ඉදි කර ගන්න තමන් බලාපොරොත්තු වූ නිවාස වලට ගෙවදීමට සුභයි. එය වාසනාව ගෙන දෙයි. ගෙදරට යම් කොටසක් එකතු කිරීමට බලාපොරොත්තුවක් තිබුනානම් එය අනිවාර්යයෙන්ම ඉටු වනු ඇත. නිවසේ ඉදි කිරීම් කටයුතු කරද්දී බස්නාහිර දිශාවේ නිවාස සහ ඉඩම අතර වැඩි පරතරයක් තබා ගැනීම එතරම් ශුභ නොවේ. ලග්න අෂ්ටම එරාෂ්ටක තත්වයක්ද ඔබට පවතිනවා. එබැවින් වැටීම්, තැලීම්, කැලලි සහිත තුවාල සිදු විය හැකියි. වම් අතට, වම් පාදයට බාධා ඇති කරයි. බ්‍රහස්පතිගේ මහ දශා අතුරු දශා ගත කරන අයට වැඩි ඵල ප්‍රයෝජන ලබා ගත හැකියි. මාසයේ පළමු හෝ අවසන් සෙනසුරාදා දිනවල රතු කැකුළු බතක්, එළවලු ව්‍යංජන සහිතව අත පය වාරු නැති යාචකාදීන් තුන් දෙනෙකුට ලබා දී අලුත් අවුරුද්ද ආරම්භ කිරීම තුලින් වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගත හැක.


Share this

 

වෘෂභ ලග්නය

ලග්නාධිපති බලවත් වූ අඟහරු සමග පුණ්‍යස්ථානයේ නැතහොත් නව වන ස්ථානයේ ගමන් කරයි. එමෙන්ම යෝගකාරක සෙනසුරු හත් වැන්නේ ගමන් කරන නිසා හවුලේ සහ අනුමානයෙන් කරන කටයුතු වලට එතරම් සුභ කාලයක් නොවේ. වියදම් පාර්ශවය තරමක් වැඩි කරයි. ඒ නිසා නිසි කළමනාකාරිත්වයෙන් යුතුව වසරේ මුල සිටම මුල්‍ය කටයුතු කිරීමට වග බලා ගන්න. හතර වැන්නාධිපති අට වැන්නේ පිහිටීමෙන් අසල්වාසීන්, ඥාතීන් අතර හොඳ හිත පලුදු වීමේ ඉඩ කඩ තිබේ. ඒ නිසා ඒ අයගේ අඩුපාඩුකම් කොතරම් දුටුවත් පෙන්වා දීමට ඉදිරිපත් නොවන්න. අස්ථාන චෝදනා සහ නිහඬ සතුරු කරදර සිදු විය හැක. සෙනසුරුගේ, අඟහරුගේ මහා දශා, අතුරු දශා ගත කරන අයනම් ප්‍රවේසම් වන්න. ලේ විෂ වීම්, විෂ බීජ ශරීරගත වීම් සිදු විය හැක. තෙල් සහ සීනි සහිත ආහාරනම් පාලනයෙන් යුක්තව ලබා ගන්න. අඟහරුවාදා දින වල උදේ 6.15 ත් 6.45 ත් අතර කාලයන් වලදී කුරුල්ලන්ට ධාන්‍ය වර්ගයක් දන් දී කටයුතු ආරම්භ කිරීමෙන් සුභ ප්‍රතිපල ලබා ගත හැක.


Share this

 

මිථුන ලග්නය

ලග්නාධිපති හත් වැන්නේ කේන්ද්‍රගත බලයෙන් යුක්තව ගමන් කරන්නේ රාජ්‍යකාරක රවී සමග සංයෝග වීමෙනි. බුධ ආදිත්‍ය යෝගයත්, උභයචාරී යෝගයත් උදා කරමින් ධනස්ථානය වූ දෙවැන්නේ බ්‍රහස්පති උච්ච බලයෙන් පැවතීම ඉතාමත් සුභයි. එසේම ලැබෙන දේ රඳවා ගැනීමටත් බුද්ධිමත්ව කටයුතු කල යුතුයි. යුතුකම්, වගකීම් බහුල කරන වසරක්. සමාජීය හා පවුලේ අයගේ කටයුතු වෙනුවෙන් කාලය වැඩිපුර ගත කරන්න සිදු වේවි. හත් වැන්නේ ලග්නාධිපතිගේ බලවත් පිහිටීම නිසා පවුලේ තිබු අසමගි තත්වයන් නිරාකරණය කරගැනීමට හැකියාව තිබේ. ගේ දොර අලංකරන කටයුතු වලට සහ සැප පහසුකම් වලට පසුගිය වසර වලට වඩා කාලය කැප කරයි. ප්‍රිය සම්භාෂණ සහ විනෝද ගමන් ආදියට සහභාගී වෙමින් සතුටින් කාලය ගත කිරීමට හැකියාව ලැබෙනු ඇත. සෙනසුරු හය වන්න බල රහිතව පිහිටීම නිසා අස්ථි ආශ්‍රිත දෝෂයන් ගෙන දේ. උස ස්ථාන වල, තෙත සහිත ස්ථාන වල ගමන් කරන විට ප්‍රවේශම් වන්න. සිකුරුගේ මහා දශාවත් අතුරු දශාවත් ගත කරන අයට ඉතාමත් සුභයි. තිබෙන අපල දුරුකරගන්න සාමණේර භික්ෂුවකට හෝ ප්‍රදේශයේ පහසුකම් අවම දරුවන්ට පොත් පත්, ලිපි ද්‍රව්‍ය දන් දෙන්න. එවිට 2015 වසර ඔබට වඩාත් සුභ වසරක් බවට පත් කරගත හැක.


Share this

 

කටක ලග්නය

ලග්නාධිපති දහ වැන්නේ කේන්ද්‍රගත බලයෙන්ද යෝගකාරක අඟහරු හත් වැන්න බලවත් වී පංච මහා පුරුෂ යෝගයක් වන රුචක නමැති යෝගයෙන්ද, බ්‍රහස්පතිද යෝගකාරක ග්‍රහයෙක් ලෙස ලග්නගතව බලවත් වී ගමන් කරන්නේ පංච මහා පුරුෂ යෝගයක් වන හංස නමැති යෝගයෙනි. ඒ නිසා කටක ලග්න හිමියන්ට 2015 වසර විශේෂයෙන් සුභයි. ස්වයං රැකියා කරන අයට වඩාත් සුභයි. ඇනහිට තිබුණු සියලු කටයුතු නැවත ආරම්භ කිරීමට සුභයි. 2015 ජුලි මාසය දක්වාම ඔබට මේ ශක්තිය නොඅඩුව ලැබෙනු ඇත. තම ආත්ම ශක්තියෙන් යුතුව ආරම්භ කරන කටයුතු සියල්ල සාර්ථක කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. යුග ජීවිතය ආශ්‍රිත සතුට සැනසුම අහිමි වීමට තුන් වන පාර්ශවයන්ගේ මැදිහත් වීමක් සිදුවිය හැකියි. පිටස්තර අයගේ අදහස් ලබා ගැනීමේදී වඩාත් කල්පනාකාරී වන්න. සතුරා කවුද? මිතුරා කවුද? යන්න නිවැරදිව තෝරාගත නොහැකි නිසා පිරිස ඇසුරු කිරීමේදී වඩාත් ප්‍රවේශම් වෙන්න. සෙම් දෝෂ තත්වයන් හිසට සහ පපුවට අහිතකර තත්වයන් සිදු කල හැකි නිසාවෙන් අවේලාවේ ස්නානයෙන් සහ ගංගා ඇල දොළ වල ස්නානය කිරීමෙන් වලකින්න.


Share this

 

සිංහ ලග්නය

ලග්නාධිපති පස් වැන්නේ නැතහොත් පූර්ව පුණ්‍යස්ථානයේ ත්‍රිකෝණ බලයකින් යුතුව ගමන් කිරීමෙන් ධර්ම කර්මාධිපති නමැති මහා බලගතු රාජ යෝගයක් උදා වී පවතින වසරකි. රාහු දෙකේ ගමන් කිරීම නිසා මුල්‍ය ශක්තියට කරදර බාධා ගෙන දේ. සුළු දේවල් පිළිබඳව ඇති අවධානය වැඩි කිරීමට වග බලා ගන්න. පාඩු සිදු වීම් වලක්වා ගන්නට එවිට හැකියාව ලැබෙනු ඇත. පොළොවෙන් ලැබෙන සම්පත් වලින් ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉතාමත් සුභයි. මැණික් සහ කෘෂිකාර්මික රැකියා කරන අයට උපරිම ලාභ ප්‍රයෝජන ලබා ගත හැක. මංගල යෝග උදා කරයි. දරුවන් ගැන තීන්දු තීරණ ගැනීමේදී වඩාත් කල්පනාකාරී වන්න. සෙනසුරුගේ, සිකුරුගේ මහා දශා, අතුරු දශා ගත කරන අයට තරමක කරදර පීඩා ඇති විය හැකියි. ලේ ගමන් කරන සියුම් නහර ආශ්‍රිතව දෝෂාකාරී තත්වයන් ඇති කරයි. ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යොමුවන්න. අඟහරුවාදා දිනවල නිර්මාංශ ආහාර ලබාගැනීමටත් ශෛල්‍යකර්මයකට මුහුණ දුන් අයෙකුට ආහාරපාන ලබාදීම් තුලින්ද අපල දුරු කරගෙන 2015 වසර සාර්ථක කරගැනීමට හැකිවනු ඇත.


Share this

 

කන්‍යා ලග්නය

ලග්නාධිපති බුධ හතර වැන්නේ කේන්ද්‍රගත බලයෙන් යුක්තව ගමන් කරන්නේ රාජ්‍යකාරක රවි සමග සංයෝග වීමෙනි. බුධ ආදිත්‍ය යෝගයක්ද සමගින් ඔබට 2015 වසර උදාවී ඇත. දේපල ඉඩකඩම් කටයුතු වලට ඉතාමත් සුභයි. මෙතෙක් විකුණා ගත නොහැකි ඉඩමක් තිබුනනම් ඒ සියල්ලම හොදින් කරගැනීමේ හැකියාව ලැබෙනු ඇත. මුල්‍ය ගැටලුවලට පවා විසඳුම් ලැබෙන නිසා මේ වසර ඔබට ඉතාමත් සුභයි. තමාගේ බසට අවනත කරගැනීමේ විශාල ශක්තියක් මේ වසරේ ඔබට ලැබේවී. පිය පාර්ශවීය ලැබීම් ඇත. ඔබගේ පදිංචි ස්ථානයේ ඊසාන දිශාවේ පිරිසිදු බව පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න. බ්‍රහස්පති, අගහරු, මහදශා, අතුරුදශා ගත කරන උදවියට තරමක කරදර පීඩා ඇති වේ. සෞඛ්‍ය අතින් 2015 ව ඔබට සුභ වසරකි. 2014 වසරේ තිබු රෝග පීඩා අවසන් වීමටත් ඒවාට අදාළ නිසි ප්‍රතිකාරවලට යොමුවී සුවවීමටත් 2015 වසර තුලදී හැකියාවක් ලැබේවී. ගිලන්ව ඇති අයෙකුට හෝ පුජ්‍ය පක්ෂයේ අයෙකුට මාසයේ පළමු හෝ අවසන් බදාදා බෙහෙත් ඖෂධ ස්වල්පයක් දන්දී 2015 වසර සුභ කරගන්න.


Share this

 

තුලා ලග්නය

ලග්නාධිපති බලවත් වූ අගහරු සමග හතර වැන්නේ ගමන් කරමින් පංච මහා පුර්ෂ යෝගයක් වන රුචක නමැති යෝගය උදාකර තිබේ. එමෙන්ම දහවැන්නේ බ්‍රහස්පති බලවත් වී පංච මහා පුරුෂ යෝග දෙකක් සහිතව ගමන් කිරීම නිසා ප්‍රසිද්ධිය කීර්තිය උදෙසා කරනු ලබන සියල්ලම ඉතාමත් යහපත්. පිරිවර සම්පත්තිය ලැබේවී. විදේශ සංචාර සහ ව්‍යාපාර කිරීමට ඉතමත් සුභයි. රැවටීම්, මුලාවේ වැටීම්, සොර සතුරු බිය ඇති විය හැකිය. එබැවින් සාමුහිකව කටයුතු කිරීමේදී ඉවසිලිවන්ත වන්න. දු දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු වන අතර ඔව්න්ගේ ජයග්‍රහණ හිමිවේ.ගේ දොර ආශ්‍රිතව අභිමානය සතුට වර්ධනය වේ. සෙනසුරුගේ සිකුරුගේ මහාදශා අතුරුදශා ගතකරන අයට මේ සුවිශේෂී ප්‍රතිපල භුක්ති විදිය හැකිය. ඒරාෂ්ඨක තත්වය තවත් වසර දෙකහාමාරක් ඉදිරියට තිබෙන නිසා ශරීර අභ්‍යන්තර රෝග පීඩා වලට හේතු වේ. සුළු අසනීප තත්වයකදී පවා ඉක්මනින් ප්‍රතිකාර සදහා යොමු වන්න. අපල තත්වයන්ගෙන් මිදී 2015 වසර සාර්ථක කරගැනීමට මෙහෙණින් වහන්සේ නමකට කොට්ටයක්, පොරෝනයක් පුජා කරන්න.


Share this

 

වෘශ්චික ලග්නය

ලග්නාධිපති සිකුරු සමග බලවත්ව වික්‍රම ස්ථානගතවත් ලග්නගතව සෙනසුරු ගමන් කරමින් සිටියදීයි මෙම වසර ඔබට උදා වන්නේ. බුද්ධිය දක්ෂතාවය මත මේ වසරේ අදායම් ඔබට තීරණය වෙනවා. එමෙන්ම නිර්මාණාත්මක ශක්තීන් ඉහල දමන නව ජවයකින් ඉදිරියට යාමට ලැබෙන වසරක්. ලග්නගතව සෙනසුරුගේ පිහිටීම නිසා ඔබේ දැනුම හැකියාවන්, දක්ෂතාවයන් වලින් අන් අය ප්‍රයෝජන ගැනීමට තිබෙන හැකියාව වැඩියි. එම නිසා බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත්. යුග ජීවිතය ආශ්‍රිතව තිබෙන කට්‍යුතු වලටනම් යම් යම් කරදර බාධා ගෙන දෙනවා. බොහෝ විට නිවසේ කටයුතු වෙනුවෙන් දක්වන ඇල් මැරුණු ගති ලක්ෂණ නිසා පවුලේ අයගේ සමගියට සහජීවනයට නම් එතරම් යහපත් නොවේවි. එම නිසා නිතරම සමබරව කටයුතු කරන්න. වැඩිහිටියන් තමන්ගේ කටයුතු වලට වෙනදාට වඩා වැඩි බලපෑමක් ඇති කරන නිසා ඉවසීම ඉතාමත් වැදගත්. එරාෂ්ටක කාලයේ ප්‍රබලතම කාලය තමයි ඔබට පවතින්නේ. ඒ නිසා දණ හිස් සහ පිට කොන්ද ආශ්‍රිතව ආබාධ ඇති වීමට ඉඩ කඩ වැඩියි. ගමන් බිමන් වලදී, රථවාහන වල ගමන් කරද්දී කල්පනාකාරී විය යුතුයි. සෙනසුරුගේ මහා දශා, අතුරු දශා ගත කරන අයනම් කල්පනාකාරීව කටයුතු කරන්න. අහිතකර තත්වයන් ප්‍රබල කිරීමේ ඉඩකඩ ඔවුන්ට ප්‍රබලව පවතින නිසා මාසයේ පළමු සෙනසුරාද හෝ අවසාන සෙනසුරාදා තමාගේ වයසට අනුව මල් එකතු කර මල් මාලයක් සාදා එහි මුලට සහ අගට නිල් මල් 7 බැගින් එකතු කර බෝධියේ නැගෙනහිර දිශාවේ එල්ලා බෝධි පූජාවක් කරන්න හැකියාවක් ලැබුනොත් මේ වසර වාසනාවන්ත වේවි.


Share this

 

ධනු ලග්නය

ලග්නාධිපති අට වැන්නේ ලග්න ගතව රවී බුධ සංයෝග වී බුධ ආදිත්‍ය යෝගයත් උභයචාරී යෝගයත් ධර්ම කර්මාධිපති රාජ යෝගයත් උදා කරයි. ඔබට තිබුණා වූ ආර්ථික අවහිරතා ඉවත් වේ. රැකි රක්ෂා ව්‍යාපාර ආශ්‍රිතව තිබු විනය පරීක්ෂණ නීති කරදර ආදියෙන් නිදහස් වේ.විවාහ කටයුතු වලට තිබු බාධා නැති වේ. වැඩිහිටියන්ට තිබු සෞඛ්‍ය පීඩාවන් ඉවත්වේ. නිදහස් පරිසරයක පවුලේ අය සමග සමගියෙන් කටයුතු කල හැකි වේ. ඉදිරියට වසර හතහමාරක එරාෂ්ටක තත්වයක් පවතින නිසා නිසි වෙලාවට ආහාර ගැනීමට වග බලා ගන්න. නැතහොත් කල් පවතින උදරාබාධ ඇතිවිය හැක. බුධ හා කේතු ගේ අතුරු දශා මහා දශා ගත කරන අය නම් වඩාත් සැලකිලිමත් වන්න. සෑම සෙනසුරාදා දවසකම උදෑසන 6.50ට නිවසේ බටහිර දිශාවේ කපුටන්ට එළඟි තෙල් මිශ්‍ර කිරි බතක් දන් දී නව වසර ජයගන්න ඔබට පුළුවන්.


Share this

 

මකර ලග්නය

මකර ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති එකොලොස් වැන්න වූ අයස්ථානයේ ද, ලග්නගතව අඟහරු බලවත් වන පංච මහා පුරුෂ යෝගයක් වන රුචක යෝගයකින් වගේම හත් වැන්නේ බ්‍රහස්පති බලවත් වන පංච මහා පුරුෂ යෝගයක් වන හංස යෝගයක් උදා කරයි. ඔබේ සියලුම කටයුතු වලට සුභ වන අතර ලාභ ගෙන දේ. නව ආයෝජන සිදු කිරීමට ඉතා සුභයි. තමා වටා සිටින තමාට බාධා කරන පිරිස් හොඳින් හඳුනගත හැකි වසරකි. යුග ජීවිතය ආශ්‍රිත සතුට ලැබෙන අතර දරු සම්පත් බලාපොරොත්තු ඉටු වේ. කාන්තා පාර්ශවයන්ගෙන් ගැටළු ඇති විය හැකි නිසා ප්‍රවේසම් වන්න. විදේශ සංචාර වලට සුභයි. බුධගේ බ්‍රහස්පතිගේ මහා දශා අතුරු දශා ගත කරන අයට සාර්ථක ප්‍රතිපල ලැබේ. සෙම් දෝෂ තත්වයන් නිසා පපුවට හිසට අහිතකර තත්ත්ව ගෙන දේ. අවේලාවේ ස්නානය කිරීමෙන් වලකින්න. ජලාශ ආශ්‍රිත විපත් බහුල කරන නිසා ප්‍රවේසම් වන්න. අටවිසි බුදු වරුන් පිට දුන් බෝධීන් වහන්සේලාගේ පත්‍ර විසි අටෙන් පත්‍ර 7ක් මත තබා බෙහෙත් ද්‍රව්‍ය හතක් සෑම මසකම පළමු හා අවසාන සෙනසුරාදා දින පූජා කිරීමෙන් මේ වසර ඉතා පහසුවෙන් ජය ගත හැක.


Share this

 

කුම්භ ලග්නය

ලග්නාධිපති දස වැන්නේ කේන්ද්‍ර බලයෙන් යුක්තව ගමන් කරන විට රවී බුධ එකොලොස් වැන්න වූ අයස්ථානයේ ගමන් කරමින් බුධ ආදිත්‍ය යෝගයක් උදා කරමින් නව වසර ඔබට උදා වේ. ලැබීම් වලට මෙන්ම තැන්පත් ධනය වැඩි කර ගැනීමටත් සුභයි. අන් අයගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටීමට සුදුසු නොවන වසරකි. රැකියා වල දියුණුව ඇතිවන වසරකි. පදිංචියේ වෙනස්කම් ඇතිවිය හැක. නව නිවාස ඉදි කිරීමටත් අලුත් කොටස් එකතු කිරීමටත් සුභයි. පවුලේ අය වෙනුවෙන් වෙනදාට වඩා කැප වේ. කාන්තා පාර්ශවයන්ගෙන් ගැටළු ඇතිවිය හැකි නිසා ප්‍රවේසම් වන්න. අධික පරිත්‍යාගය සහ අනුන් ඕනවට වඩා විශ්වාස කිරීමෙන් ගැටළු මතු වේ. කැපීම කැළලි සහිත තුවාල සිදුවිය හැකි නිසා වඩාත් ප්‍රවේසම් වන්න. රවී, සිකුරු, බුධ දශා ගත කරන අයට ඉතාමත් සුභයි. ගිලන්ව සිටින පූජ්‍ය පක්ෂයේ යට බෙහෙත් ඖෂධ දන් දීමෙන්, වැඩිහිටි නිවාසයකට කිරි ආහාර දන් දීම තුලින් යහපත් ප්‍රතිපල ලබා ගත හැක.


Share this

 

මීන ලග්නය

ලග්නාධිපති පස් වැන්න වූ පූර්ව පුණ්‍ය ස්ථාන ගතවද රවී බුධ හා 10 වැන්නේ ගමන් කරමින් බුධ ආදිත්‍ය යෝගයත් උභයචාරී යෝගයක් ද උදාකරමින් ඔබට නව වසර උදාවේ. පසුගිය වසර දෙක හමාරක කාලය තුල තිබු ඒරාෂ්ටක කාලය නිමා වීම නිසා මේ වසර ඉතාමත් සුභයි. ස්වයං රැකියා වල නිරත අයට ඉතා සුභයි. පොළොවෙන් ලැබෙන සම්පත් වලට ඉතාමත් සුභයි. මැණික් සහ කෘෂි කර්මාන්ත වලට යහපත් වේ. අඟහරු බලවත් වී එකොලොස් වැන්නේ ගමන් කරමින් සිටියදී නව වසර උදා වීම එයට හේතුවයි. රස කැවිලි ආහාර පාන ආශ්‍රිත කටයුතු කරන අයටත් ඉතාමත් සුභයි. පවුලේ අයගේ කටයුතු වලට වැඩි කාලයක් ගත කරමින් සමගිය වර්ධනය කර ගනී. මවගේ සෞඛය තත්වය ගැන වඩාත් සැලකිලිමත් වන්න. දැඩි ආත්ම ශක්තියකින් වැඩ කල හැකි වසරකි. උදවු ලබා ගත් අයම ඔබට පීඩා ගෙන දෙයි. ඉවසීමෙන් කටයුතු කිරීම වඩා වැදගත් වේ. බෙල්ලෙන් ඉහල කොටසේ දෝෂ කාරී තත්වයන් ඇති වේ. සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන්න. මාසයේ පළමු බදාදා හෝ අවසන් බදාදා බෙහෙත් ද්‍රව්‍ය හතක්, සුදු සහල් පූජ්‍ය පක්ෂයට පූජා කිරීමෙන් මෙම වර්ෂය යහපත් කර ගත හැක.

Share this